National Food Promotion Board     |     ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය     |    தேசிய உணவூ ஊக்குவிப்புச் சபை

අපි එක් අයෙක් අවුරුද්දකට ආසන්න වශයෙන් පොල්ගෙඩි 110 ක් පමණ ආහාරයට එක්කර ගන්නෙමු. ඒ අනුව ලංකාවේ දිනකට පොල්ගෙඩි මිලියන 4.5 පමණ භාවිතාවන බව වාර්තා වේ. ඒ කෙසේ වුවද අපි පොල්වතු හිමියන් නොවන්නේනම් හැකිතරම් පිරිමසා පාවිච්චි කරන්නෙමු. අද වනවිට සාමාන්‍ය ජනතාව වන අපගේ පොල් භාවිතය නිසැකවම අඩුවී ඇතැයි සිතමු. පොල් මදය තන්තුමය ප්‍රභවයක් වශයෙන් ආහාරයේදී වැදගත් වුවද ඒවා ශක්තිය සහ සංතෘප්ත මේදවලින් ඉතා ඉහල අගයකින් අඩංගුවන බැවින් ඇතැම්විට අහිතකර වනු ඇත. එබැවින් නිරෝගී පැවැත්මක් සඳහා මධ්‍යස්ථ ප්‍රමාණවලින් ආහාරයට එක්කල යුතුය. දළ වශයෙන් පොල්කිරි කෝප්ප ½ - 1 පමණක් එක් අයෙකුට පරිභෝජනය සඳහා නිර්දේශ කෙරේ. පොල් භාවිතයේදී අපි පොල් සම්බල්, පොල් මැල්ලුම්, කිරි හොදි ආදී වශයෙන් ආහාරයට ගන්නා විට ඉතා විශාල පොල් ප්‍රමාණයක් යොදාගනු ඇත. හැකි සෑම අවස්ථාවකදීම පොල් වැඩිපුර අවශ්‍ය නොවන ආහාර වට්ටෝරු තෝරාගනිමු. ඇතැම්විට අපි පොල් කිරි යොදා පිසගන්නා ඇතැම් ව්‍යංජන පසුව තෙල් යොදා තෙම්පරාදුකර ආහාරයට ගන්නෙමු. එය රසවත් බව සැබෑ වුවත් අවස්ථාවට අනුව පිසගන්නා ආකාරය තීරණය කිරීමට කාන්තාවක් වන ඔබ දක්ෂ විය යුතුය. මෙහිදී අපි ආහාර පිසීමේදී පිරිමසා පොල් පාවිච්චි කලහැකි සරළ විධි කිහිපයක් දැක්වීමට අදහස්කරමි
  • පොල් මිරිකාගත් පසුව මිටිකිරි හෙවත් වඩාත් උකුවට ලැබෙන කිරි කොටස පළමුව වෙන්කර තබාගන්න. පිසීමට ගන්නා දෑ පළමුව ඉතා ස්වල්පයක් වතුර යොදා තැම්බීමට තබන්න. පසුව මිටිකිරි ස්වල්පයක් යොදා වැඩි වේලාවක් තැම්බීමට නොහැර ලිපෙන් ඉවතට ගන්න. එවිට කිරි රසය හානි නොවී ඒ ආකාරයටම පවතිනු ඇත. එමෙන්ම එලවලු වැඩි වේලාවක් පිසගත්විට ගුණය මෙන්ම රසයද වර්ණයද අඩුවනු ඇත.

  • මෙයින් වෙන්කරගත් පොල් ටික සිහින්ව මිරිස් ගලෙන් අඹරා හෝ බ්ලෙන්ඩරයට දමා අඹරා දෙවන කිරිටික වෙන්කරගන්න. බොහෝ කාන්තාවන් දෙවන වරින් පසුව පොල්කුඩු ඉවතලනු ඇත.එසේ නොව එය නැවක වරක් අඹරා තුන්වන වරටද කිරිටික වෙන්කරගන්න.එම කිරි තරමක් දියාරු වුවද පිසීම සඳහා භාවිතා කල හැකිය.

  • පොල් කුඩු ඉතිරි නොවන පරිදි ඉතාමත්ම සිහින්ව මිරිස් ගලෙන් අඹරා හෝ බ්ලෙන්ඩරයක් භාවිතාකර අඹරා පෙරීමක් සිදු නොකර ලබාගෙන එය එලවලු පිසගැනීමට එක්කල හැකිය. මෙහිදී ඉතා උකුවට කිරි මිශ්‍ර වූ පොල් භාවිතා කිරීමෙන් ආහාරයට තන්තු කොටස්ද නිතැතින්ම එකතු වේ.

  • පොල් ගාගත් පසුව අඩු වතුර ප්‍රමාණයක් එක්කර ඉතා සිහින්ව ක්‍රීම් වනසේ අඹරා හෝ බ්ලෙන්ඩ්කර උකු තරලයක් ලෙස සකස්කරගන්න. දැන් ශීතකරණයේ අයිස් කැට සෑදීමට ගන්නා තැටියෙහි කුටිතුලට ස්වල්පය බැගින් වත්කර හෝ එසේ නොමැතිනම් කුඩා බඳුන් තුලට වෙන්වෙන් වශයෙන් වත්කර ශීතකරණයේ අධිශීතකරණ කොටසෙහි තබා පාවිච්චි කලහැකිය. එක් එලවලුවකට ඉන් එක් කැටයක් වනසේ යෙදීම සත්තකින්ම ප්‍රමාණවත්ය. මෙය ඔබත් අත්හදා බලන්න. ඉතා විශිෂ්ඨ ආකාරයට පොල් පිරිමසාගතහැකි වනු ඇත. කිසිදු ගැටළුවකින් තොරව සති කිහිපයක් තබා ගනිමින් පාවිච්චිකල හැකිය.

  • පොල් එක් වරක් මිරිකා ලබාගන්නා පොල් කුඩු වියලා පිටි වනසේ කොටා පෙනේරයකින් හලා වාතය ඇතුළු නොවන පරිදි භාජනයක බහා පොල් පිටි වශයෙන් තබාගත හැකිය .

  • ඉහත කුමන ක්‍රමයට පොල් භාවිතා කලද ඔබ දක්ෂ නම් ආහාරයේ රසය අඩු නොවී සාදාගතහැකිය. බොහෝවිට රසය මදි වනුයේ දිවට නොව ඔබේ සිතට වේ. එමනිසා ඔබත් එක් වරක් හෝ මෙම ක්‍රම අත්හදා බලන්න. පොල් අනවශ්‍ය ලෙස අපතේ නොයවා ප්‍රෙව්ශමින් පරිහරණය කිරීමට විශේෂයෙන්ම කාන්තාවන් වන අපි වග බලාගනිමු.