National Food Promotion Board     |     ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය     |    தேசிய உணவூ ஊக்குவிப்புச் சபை

ලංකාවේ ආහාර කර්මාන්තයේදී සෑම විටම අපි කෑම පිළිගැන්වීමට, දැවටීමට සහ වැසීමට බොහෝ විට පොලි එතිලීන් දවටන හෙවත් පොදුවේ හඳුන්වනු ලබන ආකාරයට ලන්ච් ශීට්ස් පාවිච්චි කරන්නෙමු. ඒවායේ ශරීර සෞඛ්‍යයට මෙන්ම පරිසරයට ඇතිකරන අහිතකර බලපෑම් පිළිබඳව මෙන්ම අනාගතයේදී ඇතිවන ආදිනව පිළිබඳවද මේ වනවිට ජනතාව වශයෙන් අපි ඉතා හොඳ අවබෝධයක සිටින්නෙමු. එහෙත් අපි එම අවදානමින් මිදීම සඳහා විකල්පයන් සෙවීමට ඉදිරිපත් නොවන්නෙමු. ඊට හේතුවී ඇත්තේ ලන්ච් ශීට්ස් වඩාත් ලාභදායී වීම මෙන්ම ඉතා පහසුවෙන් ඕනෑම තැනකින් මිලට ගතහැකිවීම වේ. එහෙත් එකී වාසි පමණක්ම ප්‍රමාණවත්ද? මෙම ලිපියෙහි අරමුණ වනුයේ ලන්ච් ශීට්ස් වෙනුවට විකල්ප වශයෙන් යොදාගතහැකි දෑ පිලිබඳව තොරතුරු බිඳක් ඔබ හමුවේ තැබීම වේ. මේ සඳහා ඔබ ජීවත්වන අවට පරිසරයෙන්ම සපයාගතහැකි දෑ බොහෝය.

⦁ කෙසෙල් කොල
⦁ හෙලිකෝනියා විශේෂයන්හි කොල
⦁ කිරිඅල කොල
⦁ නෙළුම් කොල
⦁ කැන්ද කොල
⦁ හල්මිල්ල කොල
⦁ දියපර කොල
⦁ වල්බෙලි කොල
⦁ සූරිය කොල
⦁ වට්ටක්කා කොල
⦁ කොලපත්

මේවා අතුරින් ආතැම් කොල වර්ග ප්‍රමාණයෙන් කුඩා වුවද ඒවා යොදාගෙන ඉඳිආප්ප, කඩල,බතල මඤ්ඤොක්කා වැනි අලවර්ග වැනි කෙටිකෑම මෙන්ම ඔබ කල්පනාකාරී නම් කොල දෙකක් කෙලවර අතිපිහිතවනසේ තබා තරමක ලොකු ආහාර පාර්සලයක් වුවද දවටාගත හැකිය.
කිරිඅල කොල , වට්ටක්කා කොල, කැන්ද කොල, හල්මිල්ල කොල, වල්බෙලි කොල ආදිය ගස්වලින් කඩාගත් පසුව සෝදා පිරිසිදුකර ඒ ආකාරයටම පාවිච්චිකල හැකිය. එහෙත් කෙසෙල් කොල පහසුවෙන්ම ඉරෙනසුළු බැවින් ඒවා පදම්කර පාවිච්චි කලයුතුය. එමනිසා කෙසෙල් කොල පදම්කරන විවිධ ආකාරයන් මෙහි ලා දැක්වීමට අදහස් කරමි.
කෙසෙල් කොල පදම්කිරීම ක්‍රම කිහිපයකටම කලහැකිය. මෙහිදී විස්තර කෙරෙන ක්‍රම අතුරින් වානිජ මට්ටමින් සහ සුළු පරිමාණයෙන් ව්‍යාපාරයක් වශයෙන් ආරම්භකිරීම සඳහා ඔබට ගැලපෙන ක්‍රමයක් තෝරාගත හැකිය. එපමණක් නොව නිවසේදී පවුලේ සාමාජිකයන් සඳහා සතියකට අවශ්‍ය දවටන සාදා තබාගැනීමට මෙන්ම උදෑසන ආහාර වේල හදිසියේ දවටා ගැනීමටද සුදුසු ක්‍රමය ඔබම තෝරාගන්න

උණු දිය ප්‍රතිකාරය.  

මෙහිදී පළමුව ඕනෑම කෙසෙල් වර්ගයකින් කවර හෝ අත්තක් කපාගන්න. එය මැද නාරටිය සමග හෝ පත්‍රය පලල්නම් මැද නාරටිය නොමැතිව හෝ අඩි 1 1/2 (සෙ.මී.45) දිගට වනසේ කැබලිවලට කපාගන්න. ඒවායේ යටපෘෂ්ඨයේ ඇති අළු සෝදා හෝ පිරිසිදු කපු රෙදි කැබැල්ලකින් පිසදා ඉවත් කර සූදානම් කරගන්න. නාරටිය වඩාත් ඝණකම් වේනම් පමණක් යට පැත්තෙන් ස්ථරයක් ප්‍රෙව්ශමින් කපා ඉවත්කරගන්න. එසේ නොකලද ගැටළුවක් නොමැතිව පදම්වූ කෙසෙල් කොලවලිවලින් ආහාර පාර්සල සාදාගතහැකිය. මේ අතරතුර කට පළල ගැඹුරු භාජනයකට වතුර දමා හොඳින් නටවන්න. මෙසේ වතුර නටන අවස්ථාවේදී කෙසෙල් කොල කැබලි අඬුදෙකකින් දෙපැත්තෙන් අල්ලා නටන වතුරෙහි ගිල්වා තත්පරයක් තරම්වූ ඉතා සුළුවේලාවක් ගිල්වා කඩිනමින් වතුර බේරී ඉවත්වීමට එල්ලා තබන්න. එකවර කැබලි කිහිපයක් ගිල්වාගත හැකිය. පැය කිහිපයක් ගතවූ පසුව එය හොඳින් පදම් වී ඉරීමක් සිදු නොවන තත්ත්වයට පත්වේ. දැන් එය භාවිතයට සූදානම්ය.

 හුමාලයෙන් පදම් කිරීම

වතුර නටනවිට නික්මෙන හුමාලයෙන් පදම්කරගත හැකිය. මෙම ක්‍රමයේදී හුමාලය නිකුත්වන ලොකු උපකරණයක් වේනම් පමණක් වානිජ මට්ටමින් සිදුකල හැකි වේ. උදෑසන ආහාර පිසින අතරතුර කඩිනමින් පදම්කලයුතුව ඇත්නම් රයිස් කුකරය ඕෆ් වූ පසුව පිසුනු බත මතුපිටට දමා වුවද පදම්කරගත හැකිය.

උණුසුම් වායුධාරාවක් මගින් පදම්කිරීම.

මෙහිදී සාමාන්‍ය විදුලි උපකරණ අලෙවිකරනුලබන අලෙවි සැල්වලින් Hot Air Guns වශයෙන් හඳුන්වන ඉතා සරළ මෙන්ම මිල අධික නොවන උපකරණයක් යොදාගෙන පදම්කිරීම සිදුකල හැකිය. මෙම උපකරණයෙන් නික්මෙන උණුසුම් වායුධාරාවක් කෙසෙල් පත්‍රවල යට පැත්තට යම්තම්න් යෙමුකලවිට පදම්වීම සිදුවේ. මෙහිදී පත්‍ර යටපැත්තේ ඇති අළු ඉවත්කිරීමක් අවශ්‍ය නොවේ. උනුසුම් වාතය මගින් අළු පත්‍රයටම අවශෝශණය වේ. මේ නිසා කෙසෙල් පත්‍රවලින් පදම්කලවිට නික්මෙන ප්‍රසන්න ආවේණික සුවඳ නික්මෙනු ඇත.

යන්ත්‍රයක් මගින් පදම් කිරීම

මේ සඳහා සකස්කරණලද විදුලියෙන් ක්‍රියාත්මකවන යන්ත්‍රයක් අප විසින් හඳුන්වා දී ඇත.මෙයින් දිනකට දවටන 2000 පමණ අවම වශයෙන් සකස්කලහැකිය. මේ වනවිට එම යන්ත්‍රයක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත්ව පවතනා අතර ඔබ කැමතිනම් එම යන්ත්‍රය දැකබලාගෙන එවැනි යන්ත්‍රයක් ඔබටම නිමකරගැනීමට හෝ එම යන්ත්‍රය නිමකරදුන් මහතා ලවා සාදවාගැනීමට හැකියාව ඇත.

මේ කවර ආකාරයට වුවද සකස්කල කෙසෙල් දවටන සති තුනකට වඩා වැඩි කාලයක් ශීතකරණයක් තුල තබා පාවිච්චි කලහැකිය. මෙම පහසුකම් භාවිතාකර ආහාර දවටන සකස්කර අමතර ආදායමක් කෙසෙල් වගාකරුවන්ට ලබාගත හැකිය. කෙසෙල් පත්‍ර කපාගැනීමේදී ඉවත්වන කුඩා කැබලි සහ තරමක් ඉරීගිය පත්‍රවල ලොකු කොටස් භාවිතාකර සුහුරු ආහාර දවටන (Smart Food Wrappers) සාදාගත හැකිය. ඒ සඳහා කෑම පිටතින් දැවටීමට ගන්නා සුදු පත්තර වශයෙන් පොදුවේ හඳුන්වන කඩදාසි ගෙන ඒ මතට කුඩා තීරු දෙකක් හෝ තුනක් අලවා දවටනය සාදාගතහැකිය. එහි ඇතුලු පැත්ත කෙසෙල් කොලයත් පිටත පැත්ත කඩදාසියත් වනසේ දිස්වනු ඇත. මෙහිදී ඇලවීම සඳහා ජෛව ගම් වශයෙන් සව් හෝ එසේ නොමැතිනම් ජෙලටින් යොදා ඇලෙනසුළු උකු ද්‍රාවනයක් සාදා ඉන් බිංදු කිහිපයක් යොදා අලවාගත යුතුය.


තවද ඇතැම්විට ආහාර පිළිගැන්වීම පෙට්ටි හරහා සිදුකෙරේ. එහිදීද පෙට්ටි තුලට ලන්ච් ශීට්ස් වෙනුවට ඉතිරිවන කෙසෙල් කොල කැබලි පදම්කර ඒවා පෙට්ටි තුලට අතුරා අලංකාර ලෙස පිළිගැන්විය හැකිය.
එමෙන්ම පිඟන්වලට පිළිගන්වනවිටද බොහෝවිට ලන්ච් ශීට්ස් එලා ඒ මතට ආහාර පිළිගන්වනු ඇත. එහිදීද කෙසෙල් කොල රවුම් හැඩයට කපා පිඟන් මතට ඇතිරීමට යොදාගත හැකිය.මෙම කවර ක්‍රමයකට වුවද කෙසෙල් පත්‍ර භාවිතා කල හැකිය. කෙසෙල් කැන් කපාගත් පසුව ඉවතලන පත්‍රවලින් අමතර ආදායමක්ද ලබාගතහැකිවේ. පරිසරයටද හිතකර වන අතර ආහාර රුචිය වැඩිවන ක්‍රමයක්ද වේ.

යම් අයෙකුට කෙසෙල් පත්‍ර සැපයීමට හැකියාවක් වේ නම් අප ආයතනය විසින් අලෙවි පහසුකම් සපයාදීමට සූදානම්ය. අමු කොල වශයෙන් සපයන්නේ නම් එක් දවටනයක් සඳහා රුපියල් හතරක මිලක් ගෙවීමට පුළුවන. මේ සදහා ඉදිරිපත් වන්නේ නම් අප ආයතනය හා සම්බන්ධ වී සැපයීම සඳහා වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.